2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත මගින් දේශපාලනඥයන්ට සහ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට තම වත්කම් හා බැරකම් පිළිබඳ ප්‍රකාශන වාර්ෂිකව ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව දැඩිව පනවා ඇත. වාර්ෂික ප්‍රකාශය එම වර්ෂයේ මාර්තු 31 වැනි දින වන විට ප්‍රකාශ කරන්නාගේ වත්කම් සහ බැරකම් මෙන්ම ඔවුන්ගේ කලත්‍රයා, යැපෙන දරුවන් (ඕනෑම වයසක), වෙනත් යැපෙන්නන් සහ ඔවුන් සමඟ ජීවත් වන ඕනෑම අයෙකු සතු වත්කම් සහ බැරකම් අනාවරණය කළ යුතුය. මෙම ප්‍රකාශන සකස් කර ඉදිරිපත් කිරීමට ප්‍රකාශකයන්ට මාර්තු 31 සිට ජූනි 30 දක්වා සම්පූර්ණ මාස තුනක කාලයක් ඇත.
වාර්ෂික වත්කම් බැරකම් ප්‍රකාශන ඉදිරිපත් කළ යුතු රාජ්‍ය නිලධාරීන් සහ මහජන නියෝජිතයින්ගේ ලැයිස්තුවක් මෙහි දැක්වේ. සම්පූර්ණ ලැයිස්තුව ලබා ගැනීම සඳහා මෙහි ක්ලික් කරන්න.
වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රමාද වී හෙළිකිරීම සඳහා වන දඩය!!
පනතට අනුව, සෑම වසරකම ජූනි 30 වන විට මෙම වත්කම් හෙළි කිරීමේ ප්‍රකාශන ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම තුළින් සැළකිය යුතු මූල්‍යමය දඩවලට යටත් විය හැක.
අදාළ වර්ෂයේ ජූනි 30 දිනට වත්කම් බැරකම් හෙළි කිරීමේ ප්‍රකාශය ඉදිරිපත් නොකළේ නම්, පනතට අනුව ජූලි 1 වැනිදා සිට දිනපතා දඩ නියම කෙරේ.
ජූලි 1 සිට ජූලි 31 දක්වා, දෛනික දඩය දළ මාසික වැටුපෙන් තිහෙන් එකකි. අගෝස්තු 1 වැනිදා සිට අගෝස්තු 31 වැනිදා දක්වා, දෛනික දඩය පසුගිය මාස හය සඳහා අදාළ වන දළ වැටුපෙන් තිහෙන් එකක් දක්වා වැඩිවේ.
මෙම දඩ මුදල් හෙළි කරන්නාගේ වැටුපෙන් සෘජුවම කපා හැර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) අරමුදලට බැර කරනු ලැබේ.
දඩය ගණනය කිරීම
දඩය අය කරගැනීමේ ව්‍යුහයේ සංකීර්ණත්වය හේතුවෙන්, ප්‍රමාද වී ඉදිරිපත් කරන වත්කම් බැරකම් ප්‍රකාශ සඳහා දෛනික දඩය නිවැරදිව තීරණය කරන කැල්කියුලේටරයක් වෙරිටේ රිසර්ච් විසින් හඳුන්වා දී ඇත!
උදාහරණයක් ලෙස, ප්‍රකාශකයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස උපකල්පනය කරමු. ඔහුගේ අවසන් දළ මාසික වැටුප රුපියල් 157,952 ක් වන අතර ඔහු තවමත් වත්කම් බැරකම් ප්රකාශනයක් ඉදිරිපත් කර නැතැයි සිතමු.
නියමිත දින සිට ජූලි 31 දක්වා දෛනික දඩ මුදල:
157,952/ 30= රුපියල්. 5,265.07
අගෝස්තු 1 සිට අගෝස්තු 31 දක්වා දෛනික දඩය (වැටුප නොවෙනස්ව පැවති බවට උපකල්පනය කරමු):
(157,952x6) / 30 = රුපියල් 31, 590.40
මූල්‍යමය දඬුවම් වලට අමතරව,
සැප්තැම්බර් 1 වන විට වත්කම් හිමිකම් ප්‍රකාශය ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම වඩාත් දරුණු ප්‍රතිවිපාකවලට තුඩු දිය හැකිය. පනතේ 90 (5) වගන්තියට අනුව, සැප්තැම්බර් 1 වන දිනට වාර්ෂික ප්‍රකාශය ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම වරදකි. එසේ වරදකරු කරනු ලැබුවහොත්, විමර්ශන ප්‍රතිඵල සහ කොමිසම විසින් සාර්ථක නඩු පැවරීම මත පදනම්ව, අදාළ පුද්ගලයාට පසුගිය මාස 12 සඳහා ඔවුන්ගේ දළ වැටුපට සමාන දඩයකට, වසරක් දක්වා සිරදඬුවමකට හෝ ඒ දෙකටම යටත් විය හැකිය.
කලට වේලාවට වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ වැදගත්කම
නියමිත කලට වේලාවට වත්කම් ප්‍රකාශන ඉදිරිපත් කිරීම හුදෙක් නීතිමය බැඳීමක් නොවේ. වත්කම් සහ බැරකම් ප්‍රකාශයක් යනු රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලඥයින්ගේ බැඳියාවන් අතර පැවතිය හැකි ගැටුම් සහ ඔවුන්ගේ නීත්‍යානුකූල ආදායමට අනුව පැහැදිලි කළ නොහැකි ධනය හඳුනා ගැනීමට උපකාරී වන අත්‍යවශ්‍ය දූෂණ විරෝධී පියවරකි. මෙමගින් විනිවිදභාවය සහ වගවීම වැඩිදියුණු කරන අතර පාලනය කෙරෙහි මහජන විශ්වාසය වර්ධනය කිරීම සඳහා ද මෙවැනි පියවර ඉතා වැදගත්ය.
වත්කම් ප්‍රකාශන සහ ඒ හා සම්බන්ධ දඩ මුදල් පිළිබඳ වැඩි විස්තර සඳහා, දූෂණ විරෝධී පනතේ 79-92 වගන්ති කියවන්න.
CIABOC වෙත දැනටමත් ගොනු කර ඇති වත්කම් ප්‍රකාශන බැලීම සඳහා මෙහි ක්ලික් කරන්න.