2022 දී, ශ්‍රී ලංකාවේ රජය විසින් – පළාත් සහ මධ්‍යම රජයන් යන දෙඅංශයම – ප්‍රාථමික, ද්විතීයික සහ තෘතීයික මට්ටම් ද ඇතුළුව අධ්‍යාපනය සඳහා වෙන් කරන ලද්දේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.5 ක් පමණක් වන මුදලකි. මේ අනුව, දකුණු ආසියාවේ අධ්‍යාපනය සඳහා දරන වියදම් සැලකූ විට ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ එම ලැයිස්තුවේ පහළම ස්ථානයයි. මීට හාත්පසින් වෙනස් අයුරින්, ඉන්දියාව, මාලදිවයින සහ ඇෆ්ඝනිස්ථානය වැනි රටවල් ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4 කට වඩා වැඩි ප්‍රමාණයක් පොදු අධ්‍යාපනය සඳහා ආයෝජනය කරන අතර ආකර්ෂණීය ලෙස ඒ සඳහා සියයට 8ක් වෙන් කරන භූතානය කලාපයේ මුල් තැන ගනී. පසුගිය වසර 15 තුළ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ක්ෂේත්‍රයට අදාළ අයවැය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.5 ත් 2 ත් අතර නොවෙනස්ව තිබී ඇති අතර අනෙකුත් බොහෝ දකුණු ආසියාතික රටවල් අධ්‍යාපනය වෙනුවෙන් සිදු කරනු ලබන වියදම ක්‍රමානුකූලව වැඩි කර ඇත.
අධ්‍යාපනය අතින් ශ්‍රී ලංකාව සාපේක්ෂ වශයෙන් ශක්තිමත් ප්‍රතිඵල අත් කර ගෙන තිබුණ ද, විශේෂයෙන්ම අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ උසස් අධ්‍යාපනය සඳහා ඇති ප්‍රවේශය පුළුල් කිරීම ආශ්‍රිතව අධ්‍යාපන ක්ෂේත්‍රය සැලකිය යුතු අයුරින් වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවක් තවදුරටත් පවතින බව පෙනෙන්නට තිබේ. මානව ප්‍රාග්ධනය ගොඩනැඟීම තුළින් ඵලදායිතාව ඉහළ නැංවීමත් ආර්ථික වර්ධනයත් සිදු වන අතර අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කිරීම ඒ සඳහා අත්‍යවශ්‍ය වේ. එපමණක් නොව, වර්තමානයේදී ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බොහෝ සමාජ අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා ශක්තිමත් අධ්‍යාපන ක්‍රමයක් ඉතා වැදගත් වේ.
සීමිත රාජ්‍ය ආදායම සහ වියදම් සීමාවන් හේතුවෙන්, අධ්‍යාපනයට වෙන්කරනු ලබන ප්‍රතිපාදන ඉහළ නැංවීමේදී රජය විසින් වෙනත් අංශ සඳහා වෙන් කර ඇති අරමුදල් අධ්‍යාපන ක්ෂේත්‍රය වෙත යොමු කර තම අවශ්‍යතාවන්ට ලබා දිය හැකි ප්‍රමුඛතා හඳුනා ගැනීම අවශ්‍ය විය හැක. 2024 අයවැය මගින් එක් එක් ක්ෂේත්‍රය සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන පිළිබඳ විස්තර ඔබට මෙතැනින් ලබා ගත හැක. එම විස්තර කියවා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සඳහා රජයට වියදම් කපා හැරිය හැකි යැයි ඔබ විශ්වාස කරන ක්ෂේත්‍ර මොනවා ද යන්න පිළිබඳව ඔබේ අදහස් කමෙන්ටු ඔස්සේ අප සමඟ බෙදා ගන්න.
සටහන:
ශ්‍රී ලංකාව සඳහා අදාළ වන සංඛ්‍යාලේඛන, මධ්‍යම රජය මෙන්ම පළාත් සභා මට්ටමින් ද අධ්‍යාපනය සඳහා දරා ඇති වියදම් ඇතුළත් වන, ක්‍රියාකාරිත්වය මත පදනම් වූ මහ බැංකුවේ වර්ගීකරණයෙන් උපුටා ගන්නා ලදි. අනෙකුත් රටවල් සඳහා රජයේ වියදම්වලට අදාළ ලෝක බැංකුවේ දත්ත භාවිතා කර ඇති අතර අධ්‍යාපනය සඳහා මධ්‍යම සහ ප්‍රාන්ත රජයන් සිදුකරන ලද වියදම් යන දෙඅංශයම ඊට ඇතුළත් වේ.
අධ්‍යාපන වියදම් පිළිබඳ දත්ත ඇතැම් වර්ෂයන් සඳහා වාර්තා වී නොතිබූ අවස්ථා ද තිබිණි. ඇෆ්ඝනිස්ථානය (2017 සිට), ඉන්දියාව (2022), භූතානය (2012), බංග්ලාදේශය (2010), පකිස්තානය (2022) සහ ශ්‍රී ලංකාව (2020) මීට ඇතුළත් වේ. මෙම වර්ෂයන් සඳහා අදාළ අධ්‍යාපන වියදම් අවසන් වරට වාර්තා කළ මට්ටම්වල නොවෙනස්ව තිබී ඇති බවට උපකල්පනය කර ඇත.
මූලාශ්‍ර-
ලෝක බැංකුව. "අධ්‍යාපනය සඳහා රජයේ වියදම්, මුළු (දළ දේශීය නිෂ්පාදිතයෙන් %)" https://data.worldbank.org/indicator/SE.XPD.TOTL.GD.ZS?end=2014&locations=BT-AF-LK-IN-MV-NP-PK-BD&start=1971 [අවසන් වරට ප්‍රවේශය 2024 ඔක්තෝබර් 10].
ශ්‍රී ලංකා මහ බැංකුව. "වාර්ෂික වාර්තා." https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reports [අවසන් වරට ප්‍රවේශය 2024 ඔක්තෝබර් 10].