රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
පාර්ලිමේන්තුවට යන වියදම කොයි වගේ ද?

පාර්ලිමේන්තුවට අදාළ විස්තරාත්මක දත්ත ලබා ගත හැකි ආසන්නතම වර්ෂය 2022 වන අතර,  එම වර්ෂය තුළ ශ්‍රී ලංකාව සිය පාර්ලිමේන්තු කටයුතු පවත්වා ගෙන යාම සඳහා රුපියල් මිලියන 3,248 ක මුදලක් වැය කර ඇත. එනම්, එක් පාර්ලිමේන්තු රැස්වීමක් සඳහා වැය කළ මුදල සාමාන්‍යයක් ලෙස රුපියල් මිලියන 32.2 කි. දෛනික මෙහෙයුම් කටයුතුවල සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා සහ කථානායක කාර්යාලයේ වියදම් දක්වා වූ සියලුම අංශ ආවරණය වන පරිදි  ප්‍රධාන කාණ්ඩ තුනක් ඔස්සේ මෙම වියදම් වෙන් කර ඇති අතර එය පහත පරිදි දැක්විය හැක.

  1. ආයතනික සේවා - රුපියල් මිලියන 1,759 (54%). මුළු අයවැයෙන් අඩකට වැඩි කොටසක් පාර්ලිමේන්තුවේ අත්‍යවශ්‍ය එදිනෙදා කටයුතු ඇතුළත් ආයතනික සේවා සඳහා වෙන් කර තිබිණ. කාර්ය මණ්ඩල වැටුප් (පුද්ගල පඩිනඩි) මෙන්ම ආහාර, නිල ඇඳුම්, නඩත්තු කටයුතු සහ ආයතනයේ මනා ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය වන උපයෝගිතා සඳහා දරනු ලබන වියදම් මෙම රුපියල් මිලියන 1,759 ට ඇතුළත් විය.
  2. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් - රුපියල් මිලියන 1,288 (40%). මන්ත්‍රීවරුන් වෙනුවෙන් සෘජු වියදම් ලෙස වැය කරන ලද මුදල මුළු පිරිවැයෙන් 40% ක් විය. මින් වැඩිම කොටස වෙන් කර තිබුණේ හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම ප්‍රතිලාභ සඳහා වීම සැලකිය යුතු කරුණක් වන අතර එම මුදල රුපියල් මිලියන 333 ක් විය. වත්මන් මන්ත්‍රීවරුන් වෙනුවෙන් දරන ලද පිරිවැයට ඉන්ධන (රුපියල් මිලියන 329), කුලී සහ දේශීය බදු (රුපියල් මිලියන 276), වැටුප් හා වේතන (රුපියල් මිලියන 159) සහ තැපැල් හා සන්නිවේදන වියදම් (රුපියල් මිලියන 133) ඇතුළත් විය. මන්ත්‍රීවරුන් සඳහා වෙන් කර ඇති පුද්ගලික දීමනා පිළිබඳ විස්තර සඳහා පහත අංක 1 වගුව බලන්න. 
  3. කථානායක කාර්යාලය - රුපියල් මිලියන 201 (6%). කථානායක කාර්යාලය දරා ඇති පිරිවැය පාර්ලිමේන්තුවේ සමස්ත මෙහෙයුම් පිරිවැයෙන් 6% ක් වූ අතර කථානායකවරයාගේ වගකීම් සහ පරිපාලන අවශ්‍යතාවලට සහය වීම සඳහා රුපියල් මිලියන 201 ක් වෙන් කර තිබිණ.

 වගුව 1: පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දෙන දීමනා

දීමනා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට ලබා දෙන මුදල

රැස්වීම් දීමනාව

පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම වෙනුවෙන් එක් දිනක් සඳහා පැමිණීමේ දීමනාව රු. 2500/=

කාරක සභා දීමනාව

පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවල රැස්වෙන කාරක සභා සඳහා සහභාගි වීම වෙනුවෙන් දිනකට රු. 2500/= බැගින්. (පාර්ලිමේන්තු රැස්වීම් දිනවල පැවැත්වෙන කිසිදු කාරක සභාවකට සහභාගි වීම වෙනුවෙන් දීමනාවක් ගෙවනු නොලැබේ.)

කාර්යාල දීමනාව

කාර්යාලයක් පවත්වා ගෙන යාම සඳහා මසකට රු. 100,000/= ක් බැගින්.

මන්ත්‍රී දීමනාව (වැටුප)

රු. 54,285.00

සංග්‍රහ දීමනාව

රු. 1,000/=

රියදුරු දීමනාව

රු. 3,500/=

(රියදුරු දීමනාව ගරු මන්ත්‍රීවරයා වෙත ගෙවනු ලබන්නේ රජයෙන් රියැදුරෙකු ලබා නොදෙන්නේ නම් පමණි.)

ඉන්ධන දීමනාව

එක් එක් මන්ත්‍රීවරයා/වරිය තේරී පත් වූ මැතිවරණ දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර පදනම් කර ගනිමින් ගණනය කළ ඩීසල් ලීටර ප්‍රමාණය සඳහා මාසයේ පළමු දිනට පවතින වෙළඳපොළ මිලගණන් අනුව ගෙවනු ලැබේ. (උදා: කොළඹට ලී‍ටර් 283.94, ගම්පහ සහ කළුතර ලී‍ටර් 355.58)

දුරකථන දීමනාව

ස්ථාවර දුරකථන හා ජංගම දුරකථන සඳහා මාසිකව රු. 50,000/= (දුරකථන බිල්පත් ගෙවීම හෝ ප්‍රතිපූර්ණය කරනු නොලැබේ)

පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රවාහන දීමනාව

පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයන් 04 දෙනෙක් කාර්යාලයට පැමිණීම වෙනුවෙන් එක් ‍‍අයෙක් සඳහා රු. 2,500/= බැගින් මාසිකව රු. 10,000/=

නිදහස් තැපැල් පහසුකම්

සෑම මන්ත්‍රීවරයෙකුටම වාර්ෂිකව රු. 350,000/= ක් වටිනා මුද්දර (එක් කාර්තුවකට රු. 87,500/= ක් බැගින්) ලබා දේ.

සටහන

අයවැය මගින් වැටුප් සහ වේතන දක්වා ඇත්තේ පුද්ගල පඩිනඩි වශයෙනි. සවිස්තරාත්මක දත්ත පවතින ආසන්නතම වර්ෂය 2022 වේ. රුපියල් මිලියන 3,248 ක මුදල එම වසරේ පවත්වන ලද මුළු පාර්ලිමේන්තු රැස්වීම් සංඛ්‍යාවෙන් (දින 101)  බෙදීමෙන් සාමාන්‍යය ගණනය කර ඇත.

මූලාශ්‍ර

  1.  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. (දිනය සඳහන් නොවේ). පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දෙන දීමනා හා වරප්‍රසාද. https://www.parliament.lk/en/members-of-parliament/allowances-and-benefits
  2. මුදල් අමාත්‍යාංශය -ශ්‍රී ලංකාව. (දිනය සඳහන් නොවේ). 2024 අනුමත අයවැය ඇස්තමේන්තු. https://www.treasury.gov.lk/web/budget-estimates/section/budget%20estimates%202024

 

2024-11-10
0 අදහස්
ඔබේ අදහස් දක්වන්න